පළාත් සභා තුනක ඡන්දය කල් දැමීමේ පාපයට ජවිපෙත් හවුල්

Author - Admin
පළාත් සභා තුනක ඡන්දය කල් දැමීමේ පාපයට ජවිපෙත් හවුල්

එදා කොට්ඨාස ක්‍රමය කියන දරුවාට අයිතිවාසිකම් කියන තාත්තලා ගොඩයි. එජාප, ශ්‍රී ලනිපය පමණක් නෙවේ ජවිපෙත් එදා කොට්ඨාස ක්‍රමයේ තාත්තා වෙන්න වලි කෑවා යැයි උදය ගම්මන්පිල මහතා පවසයි.

පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (20දා) පැවැති මාධ්‍ය හමුවකදී එහි නායක ගම්මන්පිල මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

2017 සැප්තැම්බර් මාසයේ පළාත් සභා තුනක මැතිවරණය ප්‍රකාශ කරන්න ඔන්න මෙන්න තියලා කඩිමුඩියේ පළාත් සභා මැතිවරණ පනතට සංශෝධනයක් ගෙනැවිත් පළාත් සභා මැතිවරණය දින නියමයක් නැතිව කල් දමා ගැනීමේ කූට අරමුණින් කොට්ඨාස ක්‍රමය හඳුන්වා දුන්නා. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි, එක්සත් ජාතික පක්ෂයයි විතරක් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණත් මැතිවරණ දින නියමයක් නැතිව කල් දමා ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීමේ අපරාධයට සම්මාදම් වුණා.

එහෙම සම්මත කරපු පනත යටතේ සකස් කළ කොට්ඨාස සීමා නිර්ණ වාර්තාව මේ මාසේ 24 වැනිදා පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට නියමිතයි. අපි නම් එදාත් විරුද්ධයි. අදත් විරුද්ධයි. හැබැයි කොට්ඨාස ක්‍රමය හඳුන්වා දෙන මේ වාර්තාවට එජාපයත් විරුද්ධලු.

ජවිපෙත් විරුද්ධලු. ශ්‍රී ලනිපය විතරයි තවම මතයක් කිව්වේ නැත්තේ. මේ සෑම පක්ෂයකම නියෝජිතයකු සීමා නිර්ණ කමිටුවේ සිටියා කියන එකත් අමතක කරන්න එපා. පනතට ආඩම්බරයෙන් අත උස්සපු අයත් විරුද්ධ වෙන විට සීමා නිර්ණය වාර්තාව අම්මෙක් අප්පෙක් නැති අනාථ දරුවකු වෙනවා.

ඇත්තෙන්ම ආණ්ඩුව කරන්නේ නාටකයක්. ඒ අයට ඕනෑ කුමකට හරි මුවා වෙලා පළාත් සභා මැතිවරණය කල් දමන්න.

ඒකාබද්ධ විපක්ෂයේ මතය රවුෆ් හකීම්, මනෝ ගනේෂන් සහ ඩග්ලස් දේවානන්ද ඇමැතිවරුන් සමඟ කළ සාකච්ඡාවේදී මහින්ද ජනාධිපතිවරයා පැවැසුවා, අපේ මතය තමයි රටට වඩාත් ගැළපෙන මැතිවරණ ක්‍රමයක් හදන එකට අපි පක්ෂයි. නමුත් ඒකට මුවා වෙලා මැතිවරණ කල් දාන්න දෙන්න බෑ. ඒ නිසා කාටත් පිළිගත හැකි සීමා නිර්ණයක් සකසන තෙක් පැරැණි ක්‍රමයට සෑම මැතිවරණයක්ම අදාළ දිනයේ පැවැත්විය යුතුයි.

ඇත්තෙන්ම ක්‍රියාකාරි වගන්ති එකක් පමණක් අඩංගු පනතක් සම්මත කිරීමෙන් පැරැණි මැතිවරණ ක්‍රමයට ඡන්ද පැවැත්විය හැකියි. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා නාටක රඟන්නේ නැතිව ආණ්ඩුවට ඇත්තටම පළාත් සභා මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය නම් මැතිවරණ ක්‍රම ගැන බොරු පුරසාරම් ‍ෙදාඩන්නේ නැතිව හැකි ඉක්මනින් මේ තනි වගන්තියේ පනත පාර්ලිමේන්තුවට ගේන්න යැයි අපි ඉල්ලා සිටිනවා.

සාමාන්‍ය පෙළ විභාගය අසමත් මන්ත්‍රිවරුන් 112ක් පාර්ලිමේන්තුවේ ඉන්න බවට ජවිපෙ පළාත් සභා මන්ත්‍රිවරයකු වන සමන්ත විද්‍යාරත්න මන්ත්‍රිතුමා කියනවා. මේකට මාධ්‍ය පුළුල් ප්‍රචාරයක් ලබා දුන්නා. මේක පට්ටපල් බොරුවක්. මේක බොරුවක් බව බැලූ බැල්මට මට තේරුණා. මේ ප්‍රකාශය කරන්න නම් මන්ත්‍රිවරුන්ගේ තොරතුරු එකතු කරන සමීක්ෂණයක් කරන්න ඕනෑ. නමුත් කවුරුවත් එහෙම සමීක්ෂණයක් කළේ නෑ.

අපේ පාර්ලිමේන්තුවේ උපාධිධාරීන් 62ක් සිටිනවා. ඒ වගේම උපාධිය සමඟ සම තත්ත්වයේ සැලකෙන නීතිඥ සහ ගණකාධිකාරි වැනි වෘත්තීය සුදුසුකම්ද සැලකුවොත් එය 93 දක්වා ඉහළ යනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවෙන් 41%ක් උපාධිධාරීන්. රටේ තත්ත්වයට වඩා පාර්ලිමේන්තුවේ තත්ත්වය අති විශිෂ්ටයි.

උපුටා ගැන්විම – මව්බිම