විග්නේශ්වරන්ට දේශපාලනයෙන් සමුගන්නැයි ඉල්ලීමක්

Author - Admin
විග්නේශ්වරන්ට දේශපාලනයෙන් සමුගන්නැයි ඉල්ලීමක්

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා දේශපාලනයට කිසිසේත්ම සුදුසු නොවන නිසා දේශපාලනයෙන් සමුගෙන වෙනත් කටයුත්තක නිරත වන මෙන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද සංගරී මහතා සී.වී.විග්නේස්වරන් මහතාගෙන් ඉල්ලීමක් කොට තිබේ.

ඊයේ (15) සී.වී.විග්නේස්වරන් මහතා වෙත ලිපියක් යවමින් ආනන්ද සංගරී මහතා මේ බව දැනුම් දී තිබේ.

ගත වූ කාලයේදී උතුරු පළාතේ සිදු වූ සෑම සිද්ධියක් දෙසම බලන විට ප්‍රධාන අමාත්‍යවරයා යාපනය ඇතුළු උතුරු පළාතේ පවතින දේශපාලන සංස්කෘතියට හෝ ජනසමාජයේ පවතින අවශ්‍යතාවයන්ට ගරු කිරීමක් සිදු කොට නොමැති බව ඒ ලිපියේ සදහන් කොට තිබේ.

ඒ වෙනුවට ප්‍රධාන අමාත්‍යවරයාගෙන් දෘෂ්‍යමාන වූයේ කිසිදු ස්වාධීනත්වයක් නොමැති, අන්‍යයන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් හා හිතුවක්කාර අන්දමේ පාලනයක් ගෙන ගිය චරිතයක් යැයි ආනන්ද සංගරී සදහන් කොට තිබේ.

පළාතේ අභ්‍යන්තර කටයුතු සදහා මුහුණ දීමේදී පරිණත දේශපාලකයෙකු වශයෙන් ප්‍රධාන අමාත්‍යවරයා කිසිම අවස්ථාවක කටයුතු කොට නොමැති බව පවසන ආනන්ද සංගරී මහතා ඔහු ඒ වෙනුවට සෑම අවස්ථාවකම කලේ කවුරුන් හෝ අමනාප කරගැනීමක් බවද පෙන්වා දී තිබේ.

මේ නිසා මහා විශාල කාලයක් යුද්ධයකට මැදි වී සිටි අසරණ ජනතාවක් සිටින උතුරු පළාත් වැනි ප්‍රදේශයකට ඔබ වැනි අයෙකු කිසිසේත්ම නොගැලපෙන්නේ යැයි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකවරයා පවසා ඇත.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ අදූරදර්ශීභාවය හා මමත්වය ගැනත් අවබෝධයකින් තොරව කටයුතු කිරීම ගැනත් දිය හැකි හොදම උදාහරණය වන්නේ ඔහුගේ උපන්දිනය යෙදී ඇති දිනයට උතුරු පළාත් සභාවේ අවසන් සැසිවාරය යොදාගෙන තිබීම බවද ආනන්ද සංගරී මහතා පෙන්වා දෙයි.

දේශපාලානඥයින් යනු බොළද වැඩ නොකරන මතභේදයන්ට තුඩුදෙන ප්‍රකාශ සිදු නොකරණ ඉවසීම ප්‍රඥාව ඇති පුද්ගලයෙකු වීම යැයි පවසන සංගරී මහතා උතුරු පළාත් සභාවේ ඉතිහාසය දෙසත් ප්‍රධාන අමාත්‍යවරයාගේ විනිසුරු ජීවිතයත් දෙස ආපසු හැරී බලන මෙන්ද ඉල්ලීමක් කොට තිබේ.

ආනන්ද සංගරී මහතා එල්.ටී.ටී.ඊ.නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට ඔහුගේ මිනීමරු පාලනය නවතන ලෙසත් තුවක්කුව ගැන ඇති විශ්වාසය ප්‍රජාත්න්ත්‍රවාදයට මාරු කරන ලෙස ඉල්ලා ලිපි දාහතරක්ම යවන ලද අයෙකි. ඔහුගේ එම ලිපි දාහතරෙන් දොළහකටම ප්‍රභාකරන් පිළිතුරු ලිපි එවා තිබූ අතර එල්.ටී.ටී.ඊ.සංවිධානය හා ප්‍රභාකරන්ව නිර්දය ලෙස විවේචනයට ලක් කොට ප්‍රභාකරන්ගේ මරණ දණ්ඩන ලයිස්තුවෙන් බේරුණු එකම එක පුද්ගලයාද ආනන්ද සංගරී මහතාය.

ඔහු සෑම ලිපියකින්ම ප්‍රභාකරන්ව අමතන ලද්දේ ''තම්බී ප්‍රභාකරන් '' (ප්‍රභාකරන් මල්ලී) යනුවෙනි.

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී විසින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට යවන ලද ලිපියට මේ දක්වාම පිළිතුරු ලැබුණු බවක් දැනගන්නට නොමැත.

දිනසේන රතුගමගේ

Thanks : am.lk