ගුවන් යානයේ බලු කජු කියා ලෝකයටම ඇහෙන්න බෙරිහන් දුන් ජනාධිපති තමන් මරන්න කුමන්ත්‍රණය ගැන වචනයක්වත් නෑ…

Author - Admin
ගුවන් යානයේ බලු කජු කියා ලෝකයටම ඇහෙන්න බෙරිහන් දුන් ජනාධිපති තමන් මරන්න කුමන්ත්‍රණය ගැන වචනයක්වත් නෑ…

පොලිස්පතිවරයා සේවයෙන් පහ කිරී‍මකින් තොරව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ සාධාරණ යැයි පිළිගත නොහැකි බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

මෙම කුමන්ත්‍රණය පිළිබඳ එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කෂාය බිව් ගොලුවන් සේ හැසිරෙන්නේ ඔවුන්ට ජනාධිපතිවරයාගේ ජීවිතයෙන් පලක් නැති නිසා වන්නට පුළුවන් වුවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජීවිතය රටට වැදගත් නිසා ඒකාබද්ධ විපක්ෂයට නිහඬව සිටිය නොහැකි බවත් අවධාරණය කළේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ තරුණ ව්‍යවසායකයන් පිරිසක් සමඟ උඩුගම්පොළ දී පැවැති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

අද රටේ ප්‍රධානම මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ ජනාධිපතිවරයයි හිටපු ආරක්ෂක ලේකම්වරයයි ඝාතනය කරන්න නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් කරපු කුමන්ත්‍රණයක් ගැන. මේ කුමන්ත්‍රණය ගැන මිනිස්සු කතා කළාට ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පුදුමාකාර විදියට නිෂ්ශබ්දයි.

ගුවන් යානයේ යනකොට දීපු කජු පියල්ලේ පුස් තිබ්බත් ලෝකයටම ඇහෙන්න බෙරිහන් දෙන ජනාධිපතිවරයා තමන් මරන්න කරලා තියෙන කුමන්ත්‍රණය ගැන වචනයක්වත් කියන්නේ නැහැ. ඒ වගේම ඕනෙම දේකට විහිලු සපයන අගමැතිවරයත් මේ කුමන්ත්‍රණය ගැන කතා කරන්නෙවත් නැහැ.

එතුමන්ලා විතරක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂයෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් ඉන්න කටකාර ඇමැතිවරුනුත් මේ දවස්වල ඉන්නේ කෂාය බීපු ගොලුවෝ වගෙයි. සමහරවිට ඒ අය එහෙම ඉන්නේ ජනාධිපතිවරයාගේ ජීවිතය එයාලට වැඩක් නැති නිසා වෙන්න ඇති. හැබැයි අපිට එහෙම ඉන්න පුළුවන්කමක් නැහැ.

මෙතැනදී අපි කතා කරන්නේ මෛත්‍රිපාල සිරිසේන කියන පුද්ගලයා ගැන නෙමෙයි. මේ ර‍ටේ ජනාධිපතිවරයා ගැනයි. මේ වගේ කුමන්ත්‍රණයක් වෙන රටක වුණා නම් මෙලහකටත් නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට අරගෙන. අපේ රටේ කෙරෙන්නේ ස්ථාන මාරුවක් විතරයි. මොකක්ද මේ වෙනස?

පොලිස් රාළහාමි කෙනෙක් පාරේ යන මිනිහෙක්ගෙන් රුපියල් සීයක් ගත්තත් කුදලගෙන ගිහින් රිමාන්ඩ් කරනවා කියන එක අපි දන්න කාරණයක්. හැබැයි රටේ ප්‍රධානියාවත් හිටපු ආරක්ෂක ප්‍රධානියාවත් ඝාතනය කරන්න කුමන්ත්‍රණය කරපු නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන්ගේ තනතුරම දරමින් යහතින් ඉන්නවා.

ඒ විතරක් නෙමෙයි මේ පුද්ගලයා 17 වැනි දා සවස රටේ පොලිස්පතිවරයාත් එක්ක කැලණි පන්සලේ බෝධි පූජාවකට ගියා කියලත් අපිට දැනගන්න තියෙනවා. මොකක්ද මෙතන තියෙන සාධාරණත්වය? මෙහෙම පොලිස්පතිවරයෙක් එක්ක කොහොමද පරීක්ෂණයක් කරන්නේ? වහාම මේ පොලිස්පතිවරයා සේවයෙන් පහ කළ යුතුයි.

එහෙම නැතුව කරන පරීක්ෂණයක් සාධාරණ වෙන්න බැහැ. එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෛත්‍රිපාල සිරිසේන මහතා වැදගත් නොවුණත් අපිට ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂා කරගැනීම ඉතා වැදගත්. එතුමා මේ රටේ යුද්ධය අවසන් කරන්න නායකත්වය දුන් ආරක්ෂක ලේකම්වරයා.

එතුමා අපේ විතරක් නෙමෙයි මේ රටේ සියලු ජනතාවගේ සම්පතක්. වහාම එතුමාගේ ආරක්ෂාව වැඩි කරලා එතුමාගේ ජීවිතය රකින්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා. මේ පොලිස්පතිවරයා ඉන්නකම් ගෝඨාභය මහත්තයාගේ ජීවිතය අනතුරේ. කෝටි දෙකක ජනතාවකගේ ජීවිතය රැකදුන් එතුමාගේ ජීවිතය අනතුරේ දාන්න ඉඩ තියන්න බැහැ.

මේ වගේ පරීක්ෂණ කල්දාමින් ඇල්මැරුණු විදියට කරන පරීක්ෂණ නෙමෙයි. වහාම මේවා ගැන සොයලා බලලා අවශ්‍ය පියවර ගන්න ඕනේ. සමහර විට සිරිසේන ජනාධිපතිවරයාට පත්තරය බලන්න වෙලාවක් නොලැබුණු නිසා මේ කුමන්ත්‍රණය ගැන නොදන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා පණට ආදරේ නම් පත්තර ටිකවත් බලන්න කියලා අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා.

– ප‍්‍රදීප් අනුර කුමාර

Courtesy-lankacnews.com