ආදර්ශමත් නායකයෙකුට රට භාරසෙන්න අස්ගිරි පාර්ශ්වයේ පූර්ණ ආශීර්වාදය..

Author - Admin
ආදර්ශමත් නායකයෙකුට රට භාරසෙන්න අස්ගිරි පාර්ශ්වයේ පූර්ණ ආශීර්වාදය..

රටේ සැමටම බලපාන එක නීතියක් සැකසීම, සෑම දරුවෙකුටම සමාන ලෙස බලපාන එක් අධ්‍යාපන ක්‍රමවේදයක් ගොඩනැගීම, දේශීය ව්‍යාපාරිකයින් සහ ගොවි ජනතාව නගා සිටුවීමේ ක්‍රියාවලියක් ඇති කිරීම සහ සියළු ආගම් සඳහා එක් අමාත්‍යංශයක් පිහිටුවීම යන කරුණු හතර මුල්කර ගනිමින් ආදර්ශමත්  නායකයෙකුට මෙරට පාලනය භාරදීම වෙනුවෙන් කොළඹ තරුණ බෞද්ධ සංගමය විසින් දියත් කර තිබෙන “එක හඬක්-සුරක්ෂිත රටක්“ ස්වාධීන ජාතික බලවේගය සඳහා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පූර්ණ ආශීර්වාදය හිමිවූ අතර මෙම බලවේගය ග්‍රාමීය ජනතාව වෙත කඩිනමින් රැගෙන යන්නැයි උන් වහන්සේ ඉල්ලීමක්ද කළහ.

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ප්‍රධාන ලේකම්, මහේන්ද්‍ර ජයසේකර මහතා, වැඩබලන සභාපති මද්දුමගේ ආරියරත්න මහතා, භාණ්ඩාගාරික ප්‍රසන්න අබේකෝන් මහතා, කොළඹ තරුණ බෞද්ධ සංගමය විසින් නිර්මාණය කරමින් තිබෙන ස්වාධීන ජාතික බලවේගය පිළිබඳව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි ස්වාමීන්ද්‍රයන් වහන්සේට අස්ගිරි ගෙඩිගේ විහාරස්ථානයේදී කරුණු පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති දේශපාලන ප්‍රතිපත්ති සහ ඒවා ක්‍රියාත්මක වූ ආකාරය අනුව රට දිගින් දිගටම ප්‍රපාතයට ගොස් තිබෙන බවත් මේ ආකාරයෙන් අනාගතයට ගමන් කළ නොහැකි බවත් අනාගත පරපුරේ සුභ සිද්ධිය වෙනුවෙන් ජාතික සමගිය සුරක්ෂිත කරන අළුත් අර්ථාන්විත වැඩපිළිවෙලක අවශ්‍යතාවය අද දවසේ දැඩිව පවතින බවත් මෙහිදී කොළඹ තරුණ බෞද්ධ සංගමයේ නිළධාරීන් පිරිස අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට දැනුම් දුන්නේය.

මෙහිදී, අදහස් දැක්වූ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැවසුවේ ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍රවී තිබෙන ස්වාධීන ආයතනයක් වන කොළඹ තරුණ බෞද්ධ සංගමය විසින් දියත් කර තිබෙන මෙම ස්වාධීන ජාතික බලවේගය පිළිබඳව තමන් වහන්සේගේ අවධානයද යොමුව තිබෙන බවයි.

රට සහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් සකසා තිබෙන මෙම ස්වාධීන ජාතික බලවේගය සඳහා තමන් වහන්සේ එකහෙළාම සහය පළකරන බව මෙහිදී පූජ්‍ය වෙඬරුවේ උපාලි ස්වාමීන්ද්‍රයන් වහන්සේ සඳහන් කළහ.

එසේම, ජනතාව පාලනය විය යුත්තේ ජනතාවගේ ශුභ සිද්ධියට හේතුවන ප්‍රතිපත්ති මත විනා පාලකයින්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර වලට අනුව නොවන බව උන් වහන්සේ මෙහිදී අවධාරණය කළහ. පැයක පමණ කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී උන් වහන්සේ පැවසුවේ රටට යහපත් අනාගතයක් උදාවීම තමන් වහන්සේගේ ඒකායන ප්‍රාර්ථනාව බවයි.

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ “එක හඬක්-සුරක්ෂිත රටක්“ ස්වාධීන ජාතික බලවේගය ශක්තිමත් කිරීමට ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා වත්තේගම නගරයේදී පැවැත්වුණු අතර එය සංවිධානය කර තිබුණේ පාතදුම්බර තරුණ බෞද්ධ සංගමයයි.

– කොළඹ තරුණ බෞද්ධ සංගමය

Courtesy- lankacnews.com