බදියුදීන් පාස්කු බෝම්බ කරුවන් සමග ඍජු සබඳතා පැවැත් වු බව තහවුරුයි…

Author - Admin
බදියුදීන් පාස්කු බෝම්බ කරුවන් සමග ඍජු සබඳතා පැවැත් වු බව තහවුරුයි…

රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ සොහොයුරා වන බදියුදීන් මොහොමඩ් රියාජ් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවන් සමග ඍජු සබඳතා පවත්වා ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මේ බව හෙළිකළේය.

පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බදියුදීන් මොහොමඩ් රියාජ් මේ වන විට රහස් පොලීසිය විසින් රඳවාගෙන සිටී.

මොහු බෝම්බකරුවන් ප්‍රවාහනයට ආධාර සහ අනුබල දුන් බවට ද පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ , මොහොමඩ් රියාජ් පාස්කු පාස්කු ප්‍රහාරය සඳහා මුල්‍ය දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇති බවයි.

ඒ පිළිබඳව මේ වන විටත් විමර්ශන සිදු කරන බවද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඉතා ඉක්මනින් එම විමර්ශන අවසන් කළ හැකි වනු ඇතැයි ද පැවසීය.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ දේශපාලන ප්‍රතිරූපයට හානියක් කිරීමේ අරමුණින් තම සැමියා අත්අඩංගුවට ගෙන තිබෙන බව පවසමින් බදියුදීන් මොහොමඩ් රියාජ් වෙනුවෙන් ඔහුගේ බිරිඳ විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම සලකා බැලීම සඳහා ජුලි මස 6 වන දා කැඳවීමට අධිකරණය නියම කළේය.

පෙත්සම්කාරිය කියා සිටින්නේ තම සැමියාට පාස්කු දින එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරය සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවය.

තම සැමියා අත්අඩංගුවට ගැනීමේදී රහස් පොලීසිය මගින් කිසිඳු හේතුවක් නොදන්වා සිටි බවත් මේ දක්වා ඔහු කිසිදු අධිකරණයකට ඉදිරිපත් කර නොමැති බවත් පෙත්සම්කාරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවසා සිටි බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ, මෙවැනි ඉල්ලීමක් කිරීමට මෙරට නීතිය අනුව අයිතිවාසිකමක් ඇති බවයි.

එම අයිතිවාසිකම පිළිගන්නා බවද පැවසු ඒ මහතා, සෑම විටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ මෙරට ඇති නෛතික ප්‍රතිපාදන අනුව බවද පැවසීය.

ඒ නිසාවෙන් යම් අභියෝගයක් ඇත්නම් ඒ සඳහා නොබියම මුහුණ දෙන බවද ඒ මහතා කියා සිටියේය.

– ada derana