අපි ඉල්ලන්නේ දෙමළ මිනිස්සුන්ට නව ව්‍යවස්ථාවක් තුළින් දේශපාලන විසඳුමක්

Author - Editor
අපි ඉල්ලන්නේ දෙමළ මිනිස්සුන්ට නව ව්‍යවස්ථාවක් තුළින් දේශපාලන විසඳුමක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇතැමුන් අසත්‍ය ප්‍රචාර සිදුකරන බව දෙමළ ජාතින සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ(16) පේදුරුතුඩුව ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්.

දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් ලබාදීම වෙනුවෙන් දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා සිදුකරන මැදිහත්වීම ඇගයීම සඳහා ඔහුට දෙමළ ජනතාවගේ ආරක්ෂකයා ලෙස ගෞරවය පිරිනැමීමේ වැඩසටහනක් ඊයේ යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී පැවැත්විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු සුමන්තිරන් මහතා මෙසේ පැවසීය.

“අපි ඉල්ලන්නේ දෙමළ මිනිසුන්ට නව ව්‍යවස්ථාවක් හරහා දේශපාලන විසඳුමක්. දේශපාලන විසඳුමක් ආවොත් වැඩිපුර බලතල පළාත් සභාවලට දිය යුතුයි. 

මධ්‍යම රජය මැදිහත් වෙන්න හොඳ නැහැ. මෙම යෝජනා අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් කර තිබෙනවා. ඒකීය රාජ්‍යයක් කියන්නේ හා ඔරුමිත්තනාඩු කියන්නේ මොකද්ද කියලා ව්‍යවස්ථා යෝජනාව කියෙව්වොත් තේරේවි.  

ඒක කියවලා බලන්නේ නැතුව රනිල් , කිරිඇල්ල, මහින්ද හා මහාචාර්යවරුන් කියන ඒවා තමයි පත්තරවල යන්නේ. කෙටුම්පතේ තිබෙන ඒවා කවුරුවත් ලියන්නේ නෑ. 

කරුණාකරලා අලුත් ව්‍යවස්ථාවක් එන එක ඔබලා  වළක්වන්න එපා. තෛපොංගල් දින පණිවුඩයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියනවා දෙමළ මිනිස්සු වෙනුවෙන් දේශපාලන විසඳුමක් ලැබෙන්න ඕන කියලා. අපි ඒක පිළිගන්නවා. 

එහෙම දෙයක් හිටපු ජනාධිපතිවරයා කියපු එක ගැන අපි සතුටු වෙනවා.කෙටුම්පත හොඳට බලන්න. 

ඒකේ රට බෙදන කිසිදු යෝජනාවක් නැහැ. රට තුළ බලය බෙදන යෝජනා පමණයි ඇතුළත් වන්නේ. මහින්ද රාජපක්ෂ හඳපු කමිටුවක් තියෙනවා සර්වපාක්ෂික කමිටුව කියලා. ඒ කමිටුව දීපු යෝජනා අපි පිළිගන්න සුදානම්. 

යළි ලේ ගංගාවක් ඇති වෙන්න ඉඩදෙන්න එපා. හරිවිදිහට මේ ප්‍රශ්නවලට විසඳුමක් සොයන්නයි අපි කැමති. “

මෙම අවස්ථාවට එක්වෙමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෛයි සේනාධිරාජා මහතා මෙසේ පැවසීය.

“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ගෙන ආපු 30/1 හා 34/1 යෝජනාවට ලංකාව ඇතුළුව රටවල් 47ක් එකඟවුවද රජය එය ක්‍රියාත්මක කරන්නේ නැතුව ඉන්නවා. 

රාජපක්ෂ දවසක් මගේ අත අල්ලගෙන ඇහුවා විපක්ෂ නායක ධුරය ගැන උසාවියේ නඩුවක් ගොනු කරන්න හදනවද කියලා, මම කිව්වා නැහැ කියලා. 

ඊයේ වෙනකම් මහින්ද හා නිදහස් පක්ෂය ව්‍යවස්ථාවක් ඕනේ කිව්වා. අද වන විට රාජපක්ෂ ඇතුළු පිරිස කියනවා එයට එකඟ නැහැ කියලා, රට බෙදන්න යනවා කියලා විරෝධතා පවත්වනවා. ඒ නිසා තමයි පාර්ලිමේන්තුව විසුරුවන්න හැඳුවේ.“

sinhala.adaderana.lk