සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කරයි

Author - Editor
සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කරයි

අභිනවයෙන් ඉදිකෙරුණු සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද විවෘත කරනු ලැබීය.

එය ස්ථාපිත කර ඇත්තේ කුරුවිට හිදැල්ලන ප්‍රදේශයේයි.

අභිනවයෙන් ඉදිරිකරන ලද සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය විවෘත කිරීම සඳහා අද පෙරවරුවේ රත්නපුරයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රථමයෙන්ම රත්නපුර මහ සමන් දේවාලයට ගොස් ආශිර්වාද ලබාගත්තේය.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා රත්නපුර මහ රෝහල වෙත පැමිණි අතර එම රෝහල ශික්ෂණ රෝහලක් ලෙස නම් කිරීම එහිදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

එම අවස්ථාවට එක්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා කුරුවිට හිදැල්ලන ප්‍රදේශයේ ඉදිකෙරුනු සබරගමුව විශ්ව විද්‍යාලයේ අභිනව වෛද්‍ය පීඨය විවෘත කිරීම සඳහා පැමිණියේය.

එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද එක්ව සිටියහ.

මේ අතර සබරගමුව විශ්ව විද්‍යාලයේ අභිනව වෛද්‍ය පීඨය විවෘත කිරීමේ උත්සවයට සරසවි සිසුන් වන තමන්ට ආරාධනා කර නොමැති බව පවසමින් ඊට විරෝධය පළකිරීම සඳහා විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් වෛද්‍ය පීඨය වෙත බස් රථ තුනකින් පැමිණිමට කටයුතු යොදා තිබුණි.

නමුත් ඔවුන් විශ්වවිද්‍යාලයේ සිට හිදැල්ලන ප්‍රදේශය වෙත පැමිණෙන අතරවාරයේ ඕපනායක පොලිස් ස්ථානයේ නිලධාරීන් බස් රථ පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් සිසුන්  උත්සවය පැවැත්වෙන භූමියට ආයුධ රැගෙන යන්නේද පිළිබඳ පරීක්ෂාවකට ලක්කළේය.

කෙසේවෙතත් පැයක පමණ කාලයකින් පසුව සිසුන්ට වෛද්‍ය පීඨය පිහිටි භූමිය ආසන්නයට යෑමට අවස්ථාව හිමිවූ නමුත් එම පරිශ්‍රය තුළට ඇතුළු වීමට අවස්ථාව හිමිවූයේ නැත.

පොලීසිය මාර්ග බාධක යොදා රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගය හිදැල්ලන ප්‍රෙද්ශයෙන් වසා දැමීමට පියවර ගත් අතර අනතුරුව සිසුන් එම ස්ථානයේ සිට සිය විරෝධතාවය සිදුකළේය.

sinhala.adaderana.lk