පිලිපීන පාර්ලිමේන්තුවේ සහයත් ලංකාවට

Author - Editor
පිලිපීන පාර්ලිමේන්තුවේ සහයත් ලංකාවට

ශ‍්‍රී ලංකාවට සහය පළ කිරීමට පිලිපීන ජනාධිපතිවරයාගේ මඟපෙන්වීමෙන් ඉදිරියේ දී එරට රජය කි‍්‍රයාවට නංවන සියලූ වැඩසටහන්වලට පිලිපීන පාර්ලිමේන්තුවේ එකඟතාවය එකහෙළා ප‍්‍රකාශ කරන බව පිලිපීන කථානායකවරිය සඳහන් කරයි.

පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ පිලිපීන කථානායිකාව මෙන්ම හිටපු ජනාධිපතිනිය වන Gloria Macapagal Arroyo මහත්මිය අතර හමුවක් අද (17) පස්වරුවේ මැනිලා නුවර දී පැවැත්වුණු අතර එහිදී කථානායකවරිය මේ බව ප‍්‍රකාශ කළාය.
 
පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩියුටර්ට් මහතා සහ තමා අතර පැවති සාකච්ඡාවල දී දෙරටේ රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට සිදුකෙරුණු මැදිහත්වීම මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා එම කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යාමට පිලිපීන පාර්ලිමේන්තුවේ ද සහය අපේක්ෂා කරන බව කියා සිටියේය.

එමෙන්ම දෙරටේ සබඳතා වඩා පුළුල් ලෙස ඉදිරියට ගෙනයාමට පිලිපීන තානාපති කාර්යාලයක් කොළඹ ස්ථාපිත කිරීමට ද දෙරටේ ජනාධිපතිවරු අතර පැවති සාකච්ඡාවේ දී එකඟ වූ අතර ඒ සඳහා අවශ්‍ය ඉඩමක් කොළඹ නගරයෙන් ලබාදීමට අවශ්‍ය මැදහත්වීම සිදුකරන බව ජනාධිපතිවරයා පිලිපීන කථානායකවරියට සඳහන් කළේය.

පිලිපීන රජය නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට සිදුකරන කැපවීම මෙහිදී ද අගය කළ ජනාධිපතිවරයා ප‍්‍රබල අභියෝගයක් වන මත්ද්‍රව්‍ය උවදුර පාලනයකින් තොරව රටක් ලෙස ගොඩනැගිය නොහැකි බවත්, නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ශ‍්‍රී ලංකාව ගෙන යන වැඩපිලිවෙළට ද පිලිපීන රජයේ සහය ඉල්ලා සිටි බව සඳහන් කළේය. 

දෙරට අතර කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ සහයෝගිතාවය ඉහළ නංවා ගැනීමට රාජ්‍ය නායක හමුවේ දී එකඟ වූ කරුණු පිළිබඳව ද සතුට පළ කළ කථානායකවරිය එම අරමුණු ඉටු කර ගැනීමට ද පාර්ලිමේන්තුවේ පූර්ණ සහය ලබාදෙන බව ප‍්‍රකාශ කළාය.

මින් අනතුරුව පිලිපීන පාර්ලිමේන්තු සෙනෙට් සභාවේ සභාපතිනිය ද ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා පැවැත්වූවාය.

sinhala.adaderana.lk