බටහිර ආසියානු බේස් බෝල් ශූරතාවය ශ්‍රී ලංකාවට

Author - Editor
බටහිර ආසියානු බේස් බෝල් ශූරතාවය ශ්‍රී ලංකාවට

මෙවර ශ්‍රී ලංකාවේ දී පැවති 14 වන බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියේ (West Asia Baseball Cup) අවසන් මහා තරගය ලෙස සත්කාරක ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අද (20) දින පස්වරුවේ තරග වැදිනි. එහිදී ලකුණු 5-4ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගෙන ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

අවසන් මහා තරගය – ශ්‍රී ලංකාව සහ පාකිස්තානය

පාකිස්තාන කණ්ඩායමට මෙම තරගයේ සත්කාරකත්වය (Home Team) හිමිවූ අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පළමුව පිතිකරණයේ නිරත විය.

තරගයේ පළමු ඉනිමේ ප්‍රථමයෙන් පිතිකරණයේ නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ඉරේෂ් කෝසල සාර්ථකව පළමු බේසය වෙත පිවිසීමට සමත් විය. ඉන්පසුව පිළිවෙළින් නවීන් කස්තුරි මුදලි සහ සඳුන් මදුශංක ද සාර්ථකව පිටිය තුළට පිවිසීමට සමත් වූ අතර එම අවස්ථාවේ දී පිතිකරණයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සමීර රත්නායක පිටත පිටියට (Out Field) එල්ල කර පහරත් සමඟ ඉරේෂ් කෝසල සහ නවීන් කස්තුරි මුදලි ලකුණු රැස්කිරීමට සමත් විය. ඉන්පසු පිතිකරණයට පිවිසි අසංක ලක්මාල් එල්ල කර පහරින් සඳුන් මදුශංක ද ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණක් වාර්තා කිරීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම තම නියමිත දැවීම් 3 අවසානයේ ලකුණු 3ක් රැස්කර ගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉනිමේ දී පාකිස්තාන කණ්ඩායමට කිසිඳු ලකුණක් රැස්කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ අවස්ථාවක් ලබා නොදුන්හ. (ශ්‍රී ලංකාව 3 – 0 පාකිස්තානය)

තරගයේ දෙවන ඉනිමේ පිතිකරණයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ නියමිත දැවීම් 3 අවසානයේ ලකුණු රැස්කිරීමට අපොහොසත් වූ අතර පිළිතුරු ඉනිමේ දී පාකිස්තාන කණ්ඩායම ද ලකුණු රැස්කර ගැනීමට අසමත් විය. (ශ්‍රී ලංකාව 3 – 0 පාකිස්තානය)

තෙවන ඉනිමේ පිතිකරණයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම එවරද ලකුණු රැස්කර ගැනීමට අසමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමට ද ලකුණු රැස්කිරීමට අවස්ථාවක් ලබා නොදීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වගබලා ගත්හ. එම ඉනිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සමීර රත්නායක විසින් මැද පිටියේ (Center Field) සිට දිවයමින් දක්ෂ ලෙස රැකගත් උඩ පන්දුව නැවත පළමු බේසය වෙත යොමුකර දැවීම් 2ක් (Double Out) දවාගැනීමට සමත් වීම කැපී පෙනිනි. (ශ්‍රී ලංකාව 3 – 0 පාකිස්තානය)

තරගයේ සිව්වන ඉනිමේ පිතිකරණයේ දීද අසමත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානුවන්ට ද එකඳු ලකුණක් හෝ රැස්කර ගැනීමට අවස්ථාවක් ලබා නොදීමට කටයුතු කළහ. (ශ්‍රී ලංකාව 3 – 0 පාකිස්තානය)

පස්වන ඉනිමේ දීද ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු රැස් කිරීමට අවස්ථාවක් ලබා නොදුන් පාකිස්තාන ක්‍රීඩකයින්ට ද තම පිළිතුරු ඉනිමේ නියමිත දැවීම් 3 අවසානයේ ලකුණු රැස්කර ගැනීමට නොහැකි විය. (ශ්‍රී ලංකාව 3 – 0 පාකිස්තානය)

තරගයේ සයවන ඉනිමේ පළමුව පිතිකරණයේ නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සමීර රත්නායක පළමු බේසයට පිවිසීමට අපොහොසත් වුවද ඉන්පසුව පිතිකරණයට පිවිසි අසංක ලක්මාල් සාර්ථකව පළමු බේසය වෙත පිවිසීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉන්පසුව පිතිකරණයට පිවිසි නිරෝෂන් ශ්‍රියාරත්න පිටත පිටියට (Out Field) එල්ල කළ පහර දක්ෂ ලෙස රැකගත් පාකිස්තාන කණ්ඩායමේ රෙහ්මාන් ඛාන් අසංක ලක්මාල්ව දවා ගැනීමට පළමු බේසය වෙත යොමු කළද එය අසාර්ථක විය. කෙසේ නමුත් එම ඉනිමේ දීද ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු රැස්කර ගැනීමට නොහැකි විය. පිළිතුරු ඉනිමේ දී පාකිස්තාන කණ්ඩායමේ සුමයිර් සමාර් හට නිදහස් බේසයක් (Free Base) හිමිවිය. ඉන්පසු පිටියට පිවිසි ෆාකිර් හුසේන් දැවී ගියද පසුව පැමිණි උබයිද් උල්ලාහ් පිටත පිටියට එල්ල කළ පහරින් සුමයිර් සමාර් පාකිස්තානය වෙනුවෙන් පළමු ලකුණ වාර්තා කිරීමට සමත් විය. කෙසේ වෙතත් පිටියේ රැඳී සිටි උබයිද් උල්ලාහ් හට ලකුණක් රැස්කර ගැනීමට අවස්ථාවක් නොදෙමින් පිතිකරණයේ නිරතවූ සාකීර් අෆ්රිඩි ව දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. (ශ්‍රී ලංකාව 3 – 1 පාකිස්තානය)

තරගයේ හත්වන ඉනිමේ දී ශ්‍රී ලංකා වෙනුවෙන් පළමුව පිතිකරණයට පිවිසි සාදර අබේරත්න සහ දෙවනුව පිවිසි අමිල පුෂ්පකුමාර යන දෙදෙනාම වම්පස පිටත පිටියට (Left Out Field) එල්ල කළ පහරවල් සාර්ථකව රැක ගැනීමට රෙහ්මාන් ඛාන් සමත් විය. එම ඉනිමේ දීද නියමිත දැවීම් 3 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට එකඳු ලකුණක් හෝ රැස්කර ගත නොහැකි විය. ඉන්පසු පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමේ පළමු පිතිකරු වූ උමයිර් ඉම්ඩාඩ් ගේ සිරුරේ පන්දුව වැදීම හේතුවෙන් නිදහස් බේසයක් හිමිවූ නමුත් ඉන්පසුව පිතිකරණයට පිවිසි ජවාඩ් අලි ඛාන් සාර්ථකව දවාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එම ඉනිමේ දෙවන දවා ගැනීම ලෙස රෙහ්මාන් ඛාන් ව උඩ පන්දුවක් මඟින් දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යොමුව රකින ක්‍රීඩක (Catcher) සහන් අවිශ්ක සමත් වූ අතර තෙවන දැවීම ලෙස මොහොමඩ් රාෆි ව දවා ගැනීමට වම්පස පිටිය රකින ක්‍රීඩක (Left Fielder) අමිල පුෂ්පකුමාර සමත් විය. කණ්ඩායම් දෙකේ හත්වන ඉනිමද ලකුණු ලබා ගැනීමකින් තොරව අවසන් විය. (ශ්‍රී ලංකාව 3 – 1 පාකිස්තානය)

නවීන් කස්තුරි මුදලි ශ්‍රී ලංකාව වෙනුවෙන් අටවන ඉනිම ආරම්භ කළ අතර ඔහුට නිදහස් බේසයක් හිමිවිය. ඉන්පසුව පිතිකරණයට පිවිසි සඳුන් මදුශංක ඇතුළත පිටිය (In Field) හරහා එල්ල කළ පහර ඔහුව දෙවන බේසය දක්වාත් නවීන් කස්තුරි මුදලි ව තෙවන බේසයටත් රැගෙන යාමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සමීර රත්නායක ඉන්පසුව පිතිකරණයට පිවිස දකුණුපස පිටත පිටියට එල්ල කළ පහරින් නවීන් කස්තුරි මුදලි සහ සඳුන් මදුශංක ලකුණු රැස් කිරීමට සමත් විය. අසංක ලක්මාල් ඉන්පසුව පිතිකරණයට පිවිස එල්ල කළ පහර රැක ගැනීමට තෙවන බේස ක්‍රීඩක (3rd Baseman)

ෆාකිර් හුසේන් සමත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නියමිත දැවීම් 3 අවසානයේ ලකුණු 2ක් පමණක් වාර්තා විය. පිළිතුරු ඉනිමේ දී පාකිස්තානය වෙනුවෙන් අර්ස්ලාන් ජම්ශයිඩ් එල්ල කළ පහර රැකගත් ඉරේෂ් කෝසල පළමු බේසය වෙත යොමු කළද එය සාර්ථකව ග්‍රහණය කර නොගත් නිසාවෙන් අර්ස්ලාන් දැවී නොගියේය. ඉන්පසු පිටියට පිවිසි සුමයිර් සවාර් පළමු බේසයේ දී දැවී ගිය අතර ඔහුට පසුව පිතිකරණයට පිවිසි ෆාකිර් හුසේන් එල්ල කළ පහරින් අර්ස්ලාන් ජම්ශයිඩ් ලකුණක් වාර්තා කිරීමට සමත් විය. ෆාකිර් හුසේන් විසින් දෙවන බේසය වෙත දිවයන විට එම බේසය වෙත යොමු වූ පන්දුව සාර්ථකව ග්‍රහණය නොවූ නිසාවෙන් ෆාකිර් හුසේන් තෙවන බේසය දක්වා යාමට සමත් විය. ඉන්පසු පිතිකරණයට පිවිසි උබයිද් උල්ලාහ් වම්පස පිටත පිටියට එල්ල කළ පහර අමිල පුෂ්පකුමාර දක්ෂ ලෙස රැකගත් නමුත් තෙවන බේසයේ සිටි ෆාකිර් හුසේන් ලකුණක් වාර්තා කිරීමට සමත් විය. සාකිර් අෆ්රිඩි ඉන්පසුව පිතිකරණයට පිවිස මැද පිටත පිටියට එල්ල කළ පහරින් සාර්ථකව පළමු බේසය වෙත යාමට සමත් වූ අතර ඉන්පසුව පිතිකරණයට පිවිසි උමයිර් ඉම්ඩාඩ් මැද පිටත පිටියට එල්ල කළ උඩ පන්දුවක් මඟින් දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සමීර රත්නායක සමත් විය. (ශ්‍රී ලංකාව 5 – 3 පාකිස්තානය)

තරගයේ අවසන් ඉනිමේ පිතිකරණයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ සාදර අබේරත්න ව උඩ පන්දුවක් මඟින් දවාගැනීමට ජවාඩ් අලි ඛාන් සමත් වූ අතර ඉන්පසුව පිතිකරණයට පිවිසි අමිල පුෂ්පකුමාර පළමු බේසයේ දී දැවී ගියේය. ඔහුට පසුව පිතිකරණයට පිවිසි ඉරේෂ් කෝසල දකුණුපස පිටත පිටියට එල්ල කළ උඩ පන්දුව සාර්ථකව රැකගැනීමට උබයිද් උල්ලාහ් සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා අවසන් ඉනිම ලකුණු ලබා ගැනීමකින් තොරව අවසන් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 3ක් අවශ්‍යව පාකිස්තාන කණ්ඩායමේ අවසන් ඉනිමේ පිළිතුරු ඉනිම ආරම්භ කරමින් ජවාඩ් අලි ඛාන් වම්පස පිටත පිටියට එල්ල කළ උඩ පන්දුව රැකගැනීමට අමිල පුෂ්පකුමාර සමත් විය. ඉන්පසුව පිතිකරණයට පිවිසි රෙහ්මාන් ඛාන් මැද පිටත පිටියට එල්ල කළ පහරින් සාර්ථකව පළමු බේසය වෙත යාමට සමත් වූ අතර මොහොමඩ් රාෆි පිතිකරණයට පිවිස එල්ල කර පහරින් රෙහ්මාන් තෙවන බේසයටත් මොහොමඩ් රාෆි පළමු බේසයටත් සාර්ථකව පැමිණිනි. ඉන්පසුව පිතිකරණයට පිවිසි අර්ස්ලාන් ජම්ශයිඩ් පළමු බේසයේ දී දැවී ගිය නමුත් රෙහ්මාන් ඛාන් ලකුණක් රැස් කිරීමට සමත් වූ අතර මොහොමඩ් රාෆි තෙවන බේසය දක්වා යාමට සමත් විය. තරගය සම කිරීමට තවත් එක් ලකුණක් පමණක් ලබාගත යුතු වුවද එම අවස්ථාවේ දී පිතිකරණයට පිවිසි සුමයිර් සවාර් පළමු බේසයේ දී දවා ගැනීමට ඉරේෂ් කෝසල ගේ දක්ෂ පන්දු රැකීම ඉවහල් විය. (ශ්‍රී ලංකාව 5 – 4 පාකිස්තානය)

අවසන් ලකුණු තත්වය : ශ්‍රී ලංකාව 5 – 4 පාකිස්තානය

ඒ අනුව 14වන බටහිර ආසියානු බේස්බෝල් කුසලානය අඛණ්ඩව දෙවන වරටත් තමන් සතුකර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

 

(උපුටාගැනීම – thepapare.com)