දෙමළෙන් බණ කියන.. දෙමළ දරුවන් මහණ කරන පන්සලක් කන්කසන්තුරේ..
තිස් වසරක යුද්ධයෙන් පසු උතුරු පළාතේ විහාරස්ථාන හා රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් විනාශයට පත්වී ඇති අතර එම විනාශයෙන් බරපතල හානියට පත්ව තිබූ යාපනයේ කන්කසන්තුරේ තිස්ස විහාරයේ ඉදිකිරීම් සඳහා ඊයේ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඞ් කුරේ මහතා විසින් මුල්ගල් තබන ලදී.
බුද්ධශාසන අමාත්‍යාංශයේ මුදල් ප්‍රතිපාදන හා පරිත්‍යාගශීලින්ගේ මූල්‍ය දායකත්වය මත සංඝාවාසයක් සහ ධර්ම ශාලාවක් සහිත මෙම විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු විහාරාධිපති ශාස්ත්‍රපති පාතකඩ විමලඤාන ස්වාමීන් වහන්සේගේ මගපෙන්වීම මත සිදු කිරීමට නියමිතය.
මෙම විහාරස්ථානයේ ඉදිකිරීම් සඳහා මුල්ගල් තැබීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස ඇමතූ රෙජිනෝල්ඞ් කුරේ මහතා මෙසේ පැවසීය. ”බෞද්ධාගම හැර ලෝකයේ වෙනත් කිසිදු ආගමික සිද්ධස්ථානයක දේව රූප හෝ වෙනත් ආගමික නායකයන්ගේ ස්ථුප තැන්පත් කිරීමට හෝ වන්දනාමාන කිරීමට ඉඩකඩ නැහැ. නමුත් බෞද්ධාගමේ එහෙම සීමා මායිම් පනවා නැහැ. බෞද්ධාගම බලහත්කාරයෙන් කිසිවකුට බැඳීම් සඳහා උපදෙස් දෙන්නෙත් නැහැ. ඒ අනුව බලන කළ සහජීවනයට සංහිඳියාවට නායකත්වය දෙන්නේ බෞද්ධාගමෙන් බව අපට හොඳහැටි පැහැදිලි වෙනවා.
අද ඉදිකිරීම් සඳහා මුල්ගල් තබන මෙම විහාරස්ථානයේදී අනාගතයේ දෙමළෙන් බණ අහන්න දෙමළ අය මහන කරන්න හැකියාවක් ලැබෙන ස්ථානයක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙම ස්ථානය පදනම් කරගෙන බෙදීම් ඇති කරන්න ආගම් අතර භේද ඇති කරන්න කටයුතු නොකරන තැනක් බවට පත්වේවා යයිද මම ප්‍රාර්ථනා කරනවා. එසේම මෙම ස්ථානය මනුුෂ්යත්වයේ හා සංහිඳියාවේ මූල කඳවුරක් වේවා යයිද මම ප්‍රාර්ථනා කරනවා.
බුදුන් වහන්සේට පුළුවන් වුණානම් ජාති කුල මල භේද වලින් තොරව කටයුතු කරන්න, ඒ ආගමේ අනුගාමිකයන් වන අපටද සියලූම භේද වලින් තොරව කටයුතු කළ හැකි විය යුතුයි.
බෞද්ධාගම කොහේ තිබුණත් චීන බුද්ධාගම, තායිවාන බුද්ධාගම, බුරුම බුද්ධාගම, ජපන් බුද්ධාගම කියලා වර්ග කරලා නැහැ. බෞද්ධ ධර්මය කොහේ තිබුණත් කොහේ පැතුරුවත් එකම ධර්මයයි තියෙන්නේ. මහත්මා ගාන්ධිට, නෙල්සන් මැන්ඩෙලාට ප්‍රථම ලොවට සමානාත්මතාවය ප්‍රකාශ කළේ බුදුන් වහන්සේයි. මේ විහාරස්ථානය වෙනත් ආගම් වලට, වෙනත් බැතිමතුන්ට අභියෝග කරන තැනක් විය යුතු නැහැ. මෙම විහාරස්ථානයේ සියලූම වැඩ කටයුතු මනුෂ්‍යත්වය පදනම් කරගෙන කළ යුතුයි. දකුණු පළාතෙන් උතුරට එන බැතිමතුන්ට නවාතැන් ගන්න පුළුවන් ස්ථානයක් ලෙස මෙම ස්ථානය වැඩි දියුණු විය යුතුයි.
1954 පස් වැනි මස 17 වැනි දිනට යෙදුණු වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තතෙන් මෙම විහාරස්ථානයේ, පුණ්‍යෝත්සවයක් සංවිධානය කර තිබූ බවට අදාල දැන්වීමක් මෙම විහාරස්ථානයේ විහාරාධිපතීන්වහන්සේ විසින් මාවෙත ඉදිරිපත් කර තිබෙනවා. එසේම 1946 දෙසැම්බර් 18 වන දින ලියාපදිංචි කර ඇති මෙම විහාරස්ථානයේ ඔප්පුව සහිත ලිපි ලේඛණ පවා උන්වහන්සේ මා වෙත ඉදිරිපත් කළා. ඒ නිසා මා මෙහිදී පැහැදිලිවම සඳහන් කරනවා මෙම විහාරස්ථානයේ අලූතින් ඉදිකිරීමක් හෝ ඉඩම් අලූතින් ලබාදීමක් හෝ නොවන බවට. මෙම විහාරස්ථානයට ෙඓතිහාසික වටිනාකමක් තිබෙනවා. මෙම විහාරස්ථානයට අදාල ඉතිහාසගත තොරතුරු බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සතුව තිබෙනවා. එම සියලූම ලිපි ලේඛණ පිළිගත් නිසා තමයි යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා මෙම විහාරස්ථානයට අදාලව නව ඉදිකිරීම් සඳහා බලපත්‍රය හා අවසර පත්‍රය ලබාදී තිබෙන්නේ. මෙම විහාරස්ථානයේ මුල් විහාරාධිපතීන් වහන්සේ ලෙස වැඩසිටි කළුතර පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේගේ අත් අකුරින් විහාරස්ථානයට අදාලව ඉදිරිපත් කළ ලිපි ලේඛණ පවා මා දැක තිබෙනවා. එමනිසා මෙම විහාරස්ථානයේ වර්තමාන ඉදිකිරීම් සැබවින්ම ඓතිහාසික පැරණි විහාරස්ථානයක් සංවර්ධනය කිරීම බව මෙහිදී මා අවසන් වශයෙන් සඳහන් කරනවා”.
මෙහිදී යාපනය කන්කසන්තුරේ තිස්ස විහාරස්ථානයේ විහාරාධිපති කළුතර වීරවර්ධනාරාමයේ විහාරාධිකාරී ශ්රාස්ත්රපති පාතකඩ විමලඤන ස්ථවිරයන් වහන්සේ පිළිගැනීමේ කතාව කළහ.
මෙම අවස්ථාවට උතුරු පළාතේ බෞද්ධාගමික නායකයින් සහ ගිහි පැවිදි විශාල පිරිසක් පැමිණ සිටියහ.
Courtesy-lankacnews.com